'Kfir C12' පරීක්ෂණ පියාසැරිය සාර්ථකව අවසන්

'Kfir C12' පරීක්ෂණ පියාසැරිය සාර්ථකව අවසන්

June 11, 2026   04:09 pm

ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේදී නවීකරණය කළ ප්‍රථම 'Kfir C12' ප්‍රහාරක ජෙට් යානයේ පරීක්ෂණ පියාසැරිය අද (11) සාර්ථකව සිදුකළ බව ගුවන් හමුදාව පවසයි.

මෙය ගුවන් හමුදාව සතු 'Kfir' ජෙට් ප්‍රහාරක බලඇණිය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකේ.

'සිංහ පැටවා'  ලෙසින් හඳුන්වනු ලබන අංක 10 ප්‍රහාරක බලඝණයට අයත් මෙම ප්‍රහාරක ජෙට් යානා නවීකරණ වැඩසටහන Israel Aerospace Industries (IAI) සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව ක්‍රියාත්මක කරන ඒකාබද්ධ ව්‍යාපෘතියක්ය. 

මෙම 'Kfir C12' ගුවන් යානය නවීන digital glass cockpit avionics පද්ධතියකින් සමන්විත වන අතර, එමඟින් නියමු කාර්යභාරය සැලකිය යුතු ලෙස පහසු කර මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නංවා ඇති බව ගුවන් හමුදාව පවසයි. 

එයට අමතරව වැඩිදියුණු කළ සංවේදක සහ multi-mode radar හැකියාවන් මඟින් ඉලක්ක හඳුනාගැනීම සහ තත්ත්ව දැනුවත්භාවය (Situational Awareness) වැඩිදියුණු කර ඇත.

තවද නවීන navigation, communication සහ network-centric සම්බන්ධතා පද්ධති ඒකාබද්ධ කිරීම මඟින් මෙහෙයුම් සම්බන්ධීකරණය සහ නිරවද්‍යතාව ශක්තිමත් කර ඇති අතර, precision weapon integration සහ advanced weapons management systems මඟින් ගුවනේ සිට ගුවනට (air-to-air) සහ ගුවනේ සිට ගොඩබිමට (air-to-ground) මෙහෙයුම් හැකියාවන් සැලකිය යුතු ලෙස වැඩිදියුණු කර තිබේ.

මෙම නවීකරණය හේතුවෙන් Kfir C12 යානය බහුකාර්ය (Multi Role) යානයක් ලෙස පරිවර්තනය වී ඇති බව ගුවන් හමුදාව පසසයි.

මෙම නවීකරණය කරන ලද Kfir ප්‍රහාරක ජෙට් යානය විවිධ උස මට්ටම් යටතේ තවත් පරීක්ෂණ පියාසැරි 5ක් පමණ සිදු කිරීමට නියමිතය. 

ඉදිරි දිනවලදී කටුනායක ගුවන් හමුදා කඳවුර අවට ප්‍රදේශවල ජනතාවට මෙම නවීකරණය කරන ලද ප්‍රහාරක ජෙට් යානයේ ගුවන් ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමේ අවස්ථාව හිමිවනු ඇත. 

මෙය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නවීන තාක්ෂණික හැකියාවන් පිළිබඳ ජනතාවට සජීවී අත්දැකීමක් ලබා දෙන විශේෂ අවස්ථාවක් ලෙසද සැලකේ.

මෙම ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු Kfir C2, Kfir C7 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා 4ක් මෙන්ම Kfir TC2 වර්ගයේ පුහුණු ජෙට් යානයක්ද මේ වනවිට Kfir C12 තාක්ෂණික ප්‍රමිතිය දක්වා උසස් කිරීම සිදුවෙමින් පවතී.

පළමු පරීක්ෂණ පියාසැරිය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නිරීක්ෂණය යටතේ සිදු කෙරිණි.